RSS

දත්ත සහ තොරතුරු

දත්ත (Data)

දත්ත යනු අවිධිමත්, අර්ථ රහිත හා අසංවිධිත අංග සමූහයකි. එනම් කිසිදු අයුරකින් සකස් කිරීමකට භාජනය නොකළ කරුණු ය.

දත්ත පිහිටන ආකාර

1.      ලිඛිත සටහන්
            උදා :-   සංඛ්‍යාවන් ලෙස           (0........9)
                       අක්ෂර ලෙස                (A, අ, Z, z, b, ප, ම, ර......)
                       විරාම ලක්ෂණ ලෙස     (./,/‘/“/!.....)
                       විශේෂ සංකේත ලෙස   (#, $, @, &…..)

     2. දෘෂ්‍ය      (පෙනෙන දේ)
     
     3.      ශ්‍රව්‍ය      (ඇසෙන දේ)

දත්ත වර්ගීකරණය

1.      ප්‍රමාණාත්මක දත්ත (Quantative Data)
      ලක්ෂණ            :-          දත්ත සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැක.
                                          අංක ගණිතමය ක්‍රියාවලියකට භාජනය කළ හැක.
                                          සංඛ්‍යාත්මකව අනුපිළිවෙලකට සැකසිය හැක.
                                          සංඛ්‍යා විද්‍යාත්මකව සැකසිය හැක.

2.      ගුණාත්මක දත්ත     (Qualitative Data)
      සංඛ්‍යාත්මක ලෙස ඉදිරිපත් කළ නොහැකි දත්ත
                  උදා :-   හැඩය, වර්ණය, ශබ්දය..... ආදිය

තොරතුරු

අදාළ පුද්ගලයාට අර්ථවත් වන සේ සකස් කරනු ලබන දත්ත තොරතුරු නම් වේ.

තොරතුරු වල ගති ලක්ෂණ

     ·         අර්ථවත්ය.
     ·         විශ්මය දනවන සුළුය.
     ·         පෙර දැනුම නවීකරණය කරයි.
     ·         අන්තර් සන්නිවේදන මාධ්‍යයකි.
     ·         කාලීන වන අතර තීරණ ගැනීමට උපකාරී වේ.
     ·         නිශ්චිත වටිනාකමක් ඇත.

    තොරතුරු වල අදාළත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එසේම තොරතුරක් සෑමවිටම, අදාළ කාර්යය සඳහා ගැලපිය යුතුය; ප්‍රමාණවත් විය යුතුය; නිවැරදි විය යුතුය. භාවිත කරන තැනැත්තාට පැහැදිළිව තේරුම්ගත හැකි විය යුතු අතර විශ්වාස කළ හැකි විය යුතුය.

දත්ත සැකසීම

පරිගණකයට දත්ත ආදානය (Input) කරනු ලබන අතර එම දත්ත පරිගණක මතකයේ ගබඩාකළ ක්‍රමලේඛණයක් යටතේ සකසා අර්ථවත් තොරතුරු බවට පත් කරනු ලැබේ. මෙය දත්ත සැකසීම (Process) ලෙස හැඳින්වේ. අවසානයේදී තොරතුරු ලෙසට ප්‍රතිදානය (Output) කරයි.

මෙය තොරතුරු නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා ක්‍රියාවලියේ වියුක්ත ආකෘතියයි.

තොරතුරු වල වටිනාකම

තොරතුරක වටිනාකම රදා පවතිනුයේ එහි අදාලත්වය මතයි.

තොරතුරු වල ස්වර්ණමය න්‍යාය

තොරතුරු නිර්මාණය කරන මොහොතේ හෝ ඒවා ලැබෙන මොහොතේ එයට වැඩි වටිනාකමක් ඇත. කාලය ශුන්‍යය (0) ට ආසන්න වන වෙලාවේදී තොරතුරු වල වටිනාකම උපරිම වේ. කාලය ගතවීමත් සමගම තොරතුරු වල වටිනාකම ක්‍රම ක්‍රමයෙන් අඩු වී ගොස් අවසානයේදී ඒවා නැවතත් දත්ත බවට පත්වේ. මෙය තොරතුරු වල ස්වර්ණමය න්‍යාය (The Golden Rule Of Information) ලෙස හැඳින්වේ.


අභ්‍යාස

     1.      දත්ත යනු මොනවාද?

     2.      දත්ත පිහිටන ආකාර කවරේද?

     3.      i.          දත්ත වර්ගීකරණය ප්‍රධාන කොටස් කීයද?
      ii.         ඒ මොනවාද?

     4.      තොරතුරු යනු මොනවාද?

     5.      තොරතුරු වල ගති ලක්ෂණ මොනවාද?

     6.      දත්ත සැකසීම යනු කුමක්ද?

     7.      ‘Abstract Model’ ඇඳ පෙන්වන්න.

8.    තොරතුරු වල ස්වර්ණමය න්‍යාය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද? 













  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පරිගණක වර්ගීකරණය

පළමු පරම්පරාව (රික්තක නල (Vacuum Tubes) යුගය)

රික්තක නල තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරනු ලැබූ පරිගණක පළමුවන පරම්පරාවේ පරිගණක ලෙස හඳුන්වයි. ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික ඩිජිටල් පරිගණකය වනුයේ රික්තක කල 18,000ක් පමණ භාවිතා කරමින් 1946 දී පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු අංශය වූ මූර් පාසල මගින් නිපදවනු ලැබූ ENIAC (Electronic Numerical Integrator and Calculator) ය. මෙම ENIAC යන්ත්‍රයට එක් ගණනය කිරීමක් සිදුකිරීමට මිලිතත්පර 0.2 (තත්පරයකින් දාහෙන් පංගුවක්) ක කාලයක් ගතවී ඇත. එනම් මෙම යන්ත්‍රයට තත්පරයකදී ගණනය කිරීම් 5000ක් පමණ කිරීමට හැකිවූ බවය. මෙය තැබීමට වර්ග අඩි 1500ක පමණ ඉඩක් අවශ්‍ය වී ඇත.

ඉහත කී යන්ත්‍රයම තව තවත් දියුණු කරමින් 1950 දශකයේ දී රෙමින්ටන් රෑන්ඩ් (Remington Rand) විසින් UNIVAC – 1 (Universal Automatic Calculator – 1) නම් යන්ත්‍රය නිපදවා ඇත. මෙමගින් තත්පරයක් තුළ ගණනය කිරීම් 10,000ක් පමණ කිරීමට හැකියාව ලැබී ඇත.

ඉන්පසු 1957 දී IBM ආයතනය විසින් ‘IBM 704’ නම් පරිගණකය නිර්මාණය කර ඇත. එයට තත්පරයක් තුළදී ගණනය කිරීම් 100,000ක් කිරීමට හැකියාව තිබුණි.

දෙවන පරම්පරාව (ට්‍රාන්සිස්ටර් යුගය)

1950 දශකයේ අග භාගයේදී ට්‍රාන්සිස්ටර සොයාගැනීමත් සමගින් පරිගණකයේ දෙවන පරම්පරාව ආරම්භ විය. මෙහි ගෞරවය හිමිවනුයේ බෙල් විද්‍යාගාරයේ විලියම් ෂොක්ලේ (William Shockley), ජෝන් බාඩීන් (John Bardeen), සහ වෝල්ටර් බ්‍රාට්‍රේන් (Walter Brattain) යන අයටය. ඒ අනුව වර්ෂ 1956 දී ඔවුන්ව නොබෙල් ත්‍යාගයෙන්ද පුද ලබා ඇත.

මෙම ට්‍රාන්සිස්ටර පදනම් වූ පරිගණක මගින් තත්පරයක් තුළ ගණිත කර්ම 200,000 – 250,000ත් අතර ප්‍රමාණයක් සිදු කිරීමට හැකියාව ලැබී ඇත. එසේම අඩු විදුලි බලයක් භාවිත වීමත්, ප්‍රමාණයෙන් කුඩා වීමත් මෙම පරම්පරාවේ පරිගණක වල දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයන්ය.

තෙවන පරම්පරාව (IC – Integerated Circuits යුගය)

1970 දශකයේ පැමිණි තෙවන පරම්පරාවේ පරිගණක නිර්මාණය කිරීම සඳහා භාවිතා කර ඇත්තේ සමෝධානිත / අනුකලිත පරිපථ හෙවත් IC ය. මේවා භාවිතය හේතු කොටගෙන පරිගණක ප්‍රමාණයෙන් තවත් කුඩා වූ අතර වැඩි කාර්යක්ෂමතාවක් ද අත්පත් කරගැනීමට සමත් විය. මුල් කාලයේදී භාවිතයට ගනු ලැබූ IC තුළ අඩු ට්‍රාන්සිස්ටර ප්‍රමාණයක් ඇතුළත් විය. ඒවා SSI (Small Scale Integration) ලෙස හැඳින්විය. මේවා තවත් දියුණු වෙමින් එනම් එක් IC 1ක් තුළ වැඩි ට්‍රාන්සිස්ටර ප්‍රමාණයක් ඇතුළත් කරමින් IC නිපදවිය. මේවා පිළිවෙලින්,
         MSI           (Medium Scale Integration)
         LSI            (Large Scale Integration)
         VLSI        (Very Large Scale Integration)
ULSI   (Ultra Large Scale Integration) ලෙස හැඳින්වේ.

සිව්වන පරම්පරාව (ක්ෂුද්‍ර පරිපථ (Microprocessors) යුගය)

1970 න් පසුව පැමිණෙන Microprocessors සිව්වන යුගය නියෝජනය කරයි. මේවා හේතුවෙන් පරිගණක තව තවත් කුඩා වූ අතර වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කළ හැකි විය. එනම් බහුක්‍රමලේඛණ (Multiprogramming) ගුණය සහිත විය. එසේම ප්‍රධාන මතකයෙන් පිටත මතකයක් හෙවත් අතත්‍ය ආචයන මතකය (Virtual Memory) සහිත විය.








පස්වැනි පරම්පරාව

1980 දශකයෙන් පසුව පැමිණෙන මෙම පරිගණක අදද භාවිතා කරනු ලබයි. මේවා ඉතා වේගවත් වූ අතර තත්පරයකට ගණිත කර්ම මිලියන 3 – 15ත් අතර සිදු කළ හැකිය. එසේම මේ වන විට කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිත කරමින් පරිගණක නිර්මාණය කිරීම සඳහා ද විද්‍යාඥයින් උත්සාහ දරමින් සිටී.

පරිගණක පරිනාමය පිළිබඳ තොරතුරු ලඝුකළ වගුවක් පහතින් දැක්වේ.


පරම්පරා අනුව ඉහත ලිපියකදී පරිගණක වර්ග කළා ඔබට මතක ඇති. ඊට අමතරව තවත් ආකාර 3ක් යටතේ පරිගණක වර්ග කළ හැකිය.
      1.      ප්‍රමාණය අනුව පරිගණක වර්ග කිරීම.
      2.      කාර්යය අනුව පරිගණක වර්ග කිරීම.
3.   තාක්ෂණය අනුව පරිගණක වර්ග කිරීම.


ප්‍රමාණය අනුව පරිගණක වර්ග කිරීම.

      1.      සුපිරි පරිගණක (Super Computers)
            ප්‍රබල කාර්යක්ෂමතාවයකින් හා හැකියාවන්ගෙන් යුත් යම් විශේෂිත කාර්යයක් සඳහා නිමවන ලද පරිගණක
.
      2.      මහා පරිගණක  (Mainframe Computers) - ප්‍රමාණයෙන් ඉතා විශාල පරිගණක.
      3.      මධ්‍ය පරිගණක (Mini Computers) - මධ්‍යම ප්‍රමාණයේ පරිගණක
      4.      ක්ෂුද්‍ර පරිගණක (Micro Computers) - ප්‍රමාණයෙන් ඉතා කුඩා පරිගණක.
මේ පරිගණක යටතට,
1.      පුද්ගල පරිගණක                (Personal Computers)
පුද්ගලික කටයුතු සදහා තනි තනි වශයෙන් භාවිතා කළ හැකි පරිගණක
2.      උකුළු පරිගණක                  (Laptop Computers)
එහා මෙහා ගෙන යා හැකි පරිගණක    
3.      අත්ල පරිගණක                  (Palm Computers)
අත්ල මත තබාගෙන වැඩ කළ හැකි පරිගණක
            උදා :- Tablet Computers
4.      වැඩ නිකේතන පරිගණක    (Workstation Computers)

වඩා වැඩි හැකියාවෙන් යුතුව නිර්මාණය කරන ලද පරිගණක

කාර්යය අනුව පරිගණක වර්ග කිරීම.

1.      සාමාන්‍ය කටයුතු සඳහා භාවිතා කරන පරිගණක     (General Purpose Computers)
                    එදිනෙදා කටයුතු සඳහා භාවිතා කරන පරිගණක
      2.      විශේෂ කාර්ය සඳහා භාවිතා කරන පරිගණක          (Special purpose computers)
                   විද්‍යාත්මක පර්යේෂණ, යුද මෙහෙයුම්, තෙල් නිධි ගවේෂණය වැනි සුවිශේෂී කාර්යයන් සඳහා නිර්මාණය කරන ලද පරිගණක 
      
       තාක්ෂණය අනුව පරිගණක වර්ග කිරීම. 

       1.      සංඛ්‍යාංක / අංකිත පරිගණක (Digital Computers)
                     0 හා 1 යන ද්විමය සංඛ්‍යා සංකල්පය භාවිත කරමින් නිර්මාණය කරනු ලැබූ පරිගණක
       2.      ප්‍රතිසම පරිගණක                  (Analog Computers)
                    උෂ්ණත්වය, තෙරපුම, පීඩනය වැනි භෞතික දත්ත උපයෝගී කරගනිමින් ක්‍රියාත්මක වන පරිගණක
        3.      මිශ්‍ර / දෙමුහුම් පරිගණක       (Hybrid Comuters)
                    Digital සහ Analog යන පරිගණක වර්ග දෙකෙහිම සම්මිශ්‍රණයක් ලෙස නිර්මාණය වූ පරිගණක 
      
       අභ්‍යාස

      1.      ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය කුමක්ද?

       
      2.      වත්මන් පරිගණක තුළ භාවිතා වන සංකල්පය ලොවට හඳුන්වා දුන්නේ කවුද?
  
      3.      UNIVAC – 1 පරිගණකය නිමවූයේ කවුරුන්ද?

      4.      i.          පරිගණක පරම්පරා කීයද?
      ii.         ඒවා නම් කරන්න.

     5.      i.          ට්‍රාන්සිස්ටරය සොයා ගත්තේ කවුරුන් විසින්ද?
     ii.         එහි දළ රූප සටහනක් ඇඳ කොටස් නම් කරන්න.

                              
      6.      i.   පරිගණක වර්ගීකරණය කොටස් කීයද?
       ii.   ඒවා මොනවාද?

       7.      Laptop Computers අයත් වන්නේ කුමන පරිගණක ගණයටද?

       8.      Palmtop ගණයට අයත් වන පරිගණකයක් නම් කරන්න.

       9.      අංකිත පරිගණක යනු කවරේද?

   10. අංකිත හා ප්‍රතිසම පරිගණක දෙවර්ගයෙහිම මිශ්‍රණයෙන් සැදුම්ලත් පරිගණකයන්ට කුමන නමක් දෙනු ලබයිද?













  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පරිගණකයේ ඉතිහාස කතාව

ඕනෑම දෙයකට ඉතිහාසයක් ඇත්තා සේම පරිගණකයටද ඉතිහාසයක් ඇත. අද අපිට දක්නට ලැබෙන පරිගණකය බිහිවීමට බොහෝ කාලයක් ගතවිය. ඒ සඳහා පුරෝගාමී වූවන්ද අති විශාලය. මේ ඒ පිළිබඳ හැඳින්වීමකි.....

මිනිසා විසින් නිපදවනු ලැබූ පළමු පරිගණක උපාංගය ඇබකසය’ (Abacus) නම් වේ. ඇත්ත වශයෙන්ම එය ගණක රාමුවකි. 







1617 දී ස්කොට්ලන්ත ජාතික ජෝන් නේපියර් (John Napier) විසින් ලඝුගණක සිද්ධාන්ත ලොවට හෙළි කරන ලදී. සංඛ්‍යා ගුණ කිරීමේ ක්‍රියාවලිය ලඝුගණක භාවිත කරමින් පහසු එකතු කිරීමකට පරිවර්තනය කළ හැකි විය. ලඝුගණක භාවිතයෙන් ගැටළු විසඳීමේදී ලඝුගණක වගු භාවිතා කළ යුතුය. ජෝන් නේපියර් විසින් අවශ්‍ය කරන අගයන් ඇත් දළ තීරු වල සටහන් කරමින් මේ සඳහා අනර්ඝ වූ විකල්ප ක්‍රමයක් භාවිතා කළේය. මේ අයුරින් භාවිතා කළ ලඝුගණක අගයන් සටහන් වූ ඇත් දළ තීරු ‘Napier’s Bones’ ලෙසින් හැඳින්විණ.


වර්ෂ 1642 දී තවත් මෙවැනිම වූ යන්ත්‍රයක් නිර්මාණය විය. එනම් ප්‍රංශ ජාතික ගණිතඥයෙකු වූ බ්ලේස් පැස්කල් (Blasé Pascal) විසින් නිර්මාණය කරනු ලැබූ ආකලන යන්ත්‍රය (Adding Machine) හෙවත් ‘Pascaline’ නම් උපකරණයයි.මේ මගින් එකතු කිරීම සහ අඩු කිරීම පහසුවෙන් සිදුකළ හැකි විය.

මෙකී යන්ත්‍රයම තවදුරටත් වැඩිදියුණු කරමින් ජර්මානු ජාතික ගණිතඥයෙකු වූ ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් (Gottfried Wilhelm) විසින් වර්ෂ 1674 දී ‘Step Reckoner’ නම් යන්ත්‍රය නිපදවීය. මේ මගින් එකතු කිරීම, අඩු කිරීම පමණක් නොව ගුණ කිරීම සහ බෙදීම ද සිදුකළ හැකිවිය.

ප්‍රංශ ජාතික ජෝසප් ජැකාඩ් (Joseph Jacquard) නිපදවන ලද රෙදි විවීමේ යන්ත්‍රය කාර්මීකරණය පිළිබඳ ඉතිහාසයේ වෙනස්කම් අතර මුලටම එන්නකි. රෙදි කර්මාන්තශාලා හිමියෙකු වූ ඔහු සිදුරුකළ කාඩ්පත් (Punched Cards) යොදා ගනිමින් විවිධ මෝස්තරයන්ගෙන් රෙදි විවීමට මෙම යන්ත්‍රය නිපදවීය.

වර්ෂ 1822 දී ඉංග්‍රීසි ජාතිකයෙකු වූ චාල්ස් බැබේජ් (Charles Babbage) විසින් පළමු යාන්ත්‍රික පරිගණකය සඳහා අවශ්‍ය කරන ආකෘතියක් නිර්මාණය කළේය. එය ‘Difference Engine’ ලෙස හැදින්වේ.




ජෝසප් ජැකාඩ් ගේ සිදුරුපත් තාක්ෂණය අඩිතාලම කොටගෙන 1833 දී චාල්ස් බැබේජ් විසින්ම ‘Analytical Engine’ නිපදවූවත්, එම අවධියේ තාක්ෂණික දැනුම මඳ වූ හෙයින් ඔහුට තමන් සිතාගෙන සිටි අයුරින්ම එය නිපදවිය නොහැකි විය. නමුත් මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සලකා බැලීමේදී ආදානය (Input), තැන්පත් කිරීම (Storing), සකස් කිරීම (Processing) සහ ප්‍රතිදානය (Output) යන ක්‍රියාවලිය දක්නට ලැබේ. අද අපට දක්නට ලැබෙන පරිගණකයේ ක්‍රියාවලිය ද මෙයමය. එබැවින් ඔහුගේ මෙම සංකල්පය හේතු කොටගෙන පරිගණකයේ පියා ලෙසින් ඔහුට සලකනු ලබයි.

චාල්ස් බැබේජ් ගේ මිතුරියක් වූ ඇඩා ඔගස්ටා ලව්ලේස් (Ada Augusta Lovelace) ඔහුගේ මෙම යන්ත්‍රයට අවශ්‍ය කරන වැඩසටහන් සකස් කරදීමට පෙළඹී ඇත. එබැවින් මෙය පරිගණක වැඩසටහන් සකස් කිරීමට දරන ප්‍රථම උත්සාහය ලෙස සැලකේ. ඒ හේතු කොටගෙන ලොව ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය(First Computer Programmer) ලෙස ඇයව හඳුන්වනු ලබයි.


ජෝසප් ජැකාඩ් ගේ සිදුරුපත් සංකල්පයම භාවිතා කරමින් 1890 දී ඉතාමත් සාර්ථක අයුරින් ඇමරිකානු ජන සංගණනයක් සිදු කිරීමට හර්මන් හොලරිත් (Herman Hollerith) නම් තැනැත්තා සමත් වී ඇත.

· අද වන විට ඉතාමත් ජනප්‍රිය පරිගණක නිෂ්පාදන ආයතනයක් වන IBM (International Business Machines) ආයතනය බිහිවී ඇත්තේ ද ඔහුගේ මූලිකත්වයෙනි. 

හාවඩ් විශ්ව විද්‍යාලයේ සිටි හොවාඩ් අයිකන් (Howard Aiken) චාල්ස් බැබේජ් ගේ සංකල්පය වැඩිදියුණු කරන්නට මහන්සි ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට සහ ඔහුගේ මිතුරන්ට 1944 දී ලොව ප්‍රථම ස්වයංක්‍රීය අනුපිළිවෙල අනුව ක්‍රියාත්මක වන ගණක යන්ත්‍රය (Automatic Sequence Controlled Calculator) නිපදවීමට හැකිවි. (මෙයට පසුකාලීනව Mark 1 යැයි නම් තැබීය.) මේ මගින් ඉතා පහසුවෙන් සියලුම ගණනය කිරීම් කළ හැකි වූ අතර ඊට සම්බන්ධ කර තිබූ යතුරු ලියනයක් මගින් එහි ප්‍රතිදාන බලාගත හැකිවිය. මෙහි මුළු බර ටොන් 5ක් පමණ වූ අතර මෙය වසර 15ක් පමණ භාවිතා කරන ලදී.

1937 – 1942 අතර කාලයේදී බල්ගේරියානු ජාතික මහාචාර්යවරයෙකු වූ ජෝන් වින්සන්ට් අටානාසොෆ් (John Vincent Atanasoff) සහ ක්ලිෆර්ඩ් බෙරී (Clifford Berry) පරිගනකයක් අර්ධ වශයෙන් නිම කළහ. මෙයට ‘Atanasoff Berry Computer’ හෙවත් ABC පරිගණකය යනුවෙන් නම් තැබීය. මෙය අර්ධ ලෙසින් නිමකර තිබූ හෙයින් ද, මෙයට පේටන්ට් බලපත්‍රයක් නොගැනීම හේතුවෙන් ද මෙයට ලොව පළමු ඩිජිටල් පරිගණකය විය නොහැකි විය.

1945 දී ගණිතඥයෙකු වූ ජෝන් වොන් නියුමාන් පරිගණක සඳහා භාවිතා කළ හැකි වූ නව සංකල්පයක් හඳුන්වා දෙනු ලැබුවේය. එහි මූලික අදහස වූයේ පරිගණක යන්ත්‍රයක භෞතික වශයෙන් වෙනස්කම් නොකරමින් එහි තැන්පත් කරන ලද වැඩසටහන් ආශ්‍රයෙන් එක් පරිගණකයක් මගින් විවිධාකාර වැඩ කටයුතු කළ යුතුය යන්නයි. අද අපි භාවිතා කරන පරිගණක වල දක්නට ලැබෙන්නේ මෙන්න මේ කියන සංකල්පයයි.

අභ්‍යාස

1.  මිනිසා ගණිත කර්ම සඳහා මුලින්ම භාවිතා කරනු ලැබූ උපකරණය කුමක්ද?

2.      i.          ලඝුගණක සිද්ධාන්ත ලොවට හෙළි කරනු ලැබුවේ කවුරුන්ද?
ii.         ඔහු කිනම් ජාතිකයෙක් ද?
iii.        ඒ කිනම් වර්ෂයකදීද?

3.      i.          බ්ලේස් පැස්කල් විසින් නිර්මාණය කරනු ලැබූ උපකරණය කුමක්ද?
ii.         එය තවත් නමකින් හඳුන්වයි. ඒ කුමක්ද?

4.      ‘Step Reckoner’ නිපදවූයේ කවුද?

5.      ජෝසප් ජැකාඩ් විසින් 1801 දී රෙදි වියන යන්ත්‍රයක් නිපදවීය. එහිදී රෙදි විවිධාකාරයෙන් නිර්මාණය කිරීම සඳහා ඔහු භාවිතා කළේ මොනවාද?

6.      i.          චාල්ස් බැබේජ් විසින් යන්ත්‍ර 2ක් නිපදවිය. ඒවා පිළිවෙලින් නම් කරන්න.
ii.         ඔහුට පරිගණකයේ පියා යන විරුදාවලිය ලැබුණේ කුමක් හේතු කොටගෙනද?

7.      ලොව ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය කවුරුන්ද?

8.      i.          හර්මන් හොලරිත් භාවිතා කළේ කාගේ සංකල්පයක්ද?
ii.         ඔහු එමගින් සිදුකළ කර්තව්‍යය කුමක්ද?
iii.        ඔහුගේ මූලිකත්වයෙන් බිහි වූ ආයතනය කුමක්ද?

9.      i.          චාල්ස් බැබේජ් ගේ සංකල්පය වැඩිදියුණු කිරීමට උත්සාහ ගත් තැනැත්තා නම් කරන්න.
ii.         එමගින් ඔහුට නිර්මාණය කිරීමට හැකි වූ උපකරණය කුමක්ද?

10.  ABC පරිගණකයේ නිර්මාතෘවරුන් කවරේද?

























  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS